Pages

Wednesday, July 12, 2023

  

සොක්‍රටීස් වස පානය කිරීම සිතුවම The Death of Socrates


             Jacques Louis David, the Death of Socrates, 1787, oil on canvas, 129.5×196.2 cm,  metropolitan museum

සිතුවම සඳහා එකල සමාජයේ දේශපාලන වාතාවරණය හේතු වී ඇත. ප්‍රංශ විප්ලවය එළිපත්තට වන්නට එනම් විප්ලවයට වසරකට පෙර ඔහු විසින් සිතුවම් කරන ලදී. ප්‍රංශ විප්ලවය සඳහා ප්‍රංශ ජනතාව මානසික වශයෙන් සූදානම් කරමින් සිටි වකවානුව තුළ ගොඩනැගුණු මෙම සිතුවම ප්‍රංශ විප්ලවය සඳහා මහඟු ආශ්වාදයක් විය.  

              ග්‍රීක දාර්ශනිකයෙකු වන සොක්‍රටීස් සියතින් වස බඳුන පානය කරීමට සූදානම් වන අවස්ථාව වස්තු විෂය වී ඇත. දාර්ශනික සොක්‍රටීස් ඇතැන්ස් දෙවිවරු විවේචනය කිරීම, නගරයේ තරුණයින්ගේ චින්තනය දූෂණය කිරීම, සාම්ප්‍රදායික ජන සමාජය් ගමන් මඟ වෙනස් කිරීමට උත්සාහ දැරීම වැනි හේතූන් සඳහා වැරදිකරුවකු වූ ඔහුට ඇතැන්ස් පාලනය විසින් මරණ දඬුවම් තීරණය කළ අවස්ථාව ඉතාමත් අනුවේදනීය ලෙස සිතුවමට නගා ඇති අවස්ථාවකි. සොක්‍රටීස් තම දර්ශනයේ නිර්මලත්වය වෙනුවෙන් වස බඳුන තොර් ාගත් අවස්ථාවේ ඒ පිළිබඳ කම්පාවට පත් වූ ප්ලේටෝ ,ඇපලෝඩරස්, ක්‍රිටෝ ඇතුළු සමස්ත ශිෂ්‍යයින්ගේ වේදනාවන් මෙන්ම සොක්‍රටීස්ගේ පරිත්‍යාගශීලිත්වය කැන්වස් තලයක් තුලට කැටි කරගත් මොහොතකි. පුනරුද කලාව හා ග්‍රික රෝම සම්භාව්‍ය කලාව පිළිබඳ හැදෑරූ ෂාක් ලුවී ඩේවිඩ් එම කලාවන්හි ලක්ෂණ ද ගුරුකොට ගනිමින් ඔහුට ආවේණික වූ නව ශෛලියකින් යුතුව මෙම සිතුවම ප්‍රතිනිර්මාණය කර ඇත. මයිකල් ආන්ජලෝගේ අන්තිම විනිශ්චය සිතුවමේ ක්‍රිස්තුස් වහන්සේ ඉහලට ඔසවා සිටින ඇඟිල්ල හා රෆායල්ගේ ඇතැන්ස් ගුරුකුලය සිතුවමේ ප්ලුටෝ ඉහලට ඔසවා සිටින අතින්ද පවසන්නේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ අදහසකි.  පුනරුද අවධියේ මයිකල් ආන්ජලෝ හා රෆායල් වැනි ශිල්පීන්ගේ සිතුවම් ආභාෂය කොටගෙන සොක්‍රටීස්ගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වා දීමට උත්සහ ගෙන ඇති බව පෙනීයයි. නාට්‍යානූසාරී බව සරල බව මෙන්ම තේමාව තිවුර කිරීම සඳහා ඉහල සිට මධ්‍යය ආලෝක ධාරාවක් යොමු කිරීම මෙම සිතුවමෙහි වැදගත් ලක්ෂණ වේ. සමස්ත සිතුවම තුළ වර්ණ, වස්තූන් සංරචනය, රේඛා, අගය, වයනය හා පර්යාවලෝකනය වැනි චිත්‍ර කලාවේ මූලිකාංග භාවිතය තුළින් කැන්වස් තලය මත සොක්‍රටීස් වස පානය කිරීමේ අවස්ථාවට සජීවි බවක් ආරූඩ කර ඇත. 

                සොක්‍රටීස් වස පානය කිරීම කලා කෘතියෙහි කලාත්මක ගුණය ඉහළ මට්ටමක පැවතීම කෙරෙහි එහි භාවිත විධිමත් වූ සංරචනය ඉතා වැදගත් වී ඇත. ආරුක්කුවක් සහිත ගෘහමය සිරකුටිය සමස්ත සිතුවමේ පසුබිම සඳහා යොදාගෙන ඇත. සමස්ත සිතුවමෙහි සංරචනය විධිමත්ය.  සරල බවකින් ගාම්භීර බවකින් මෙන්ම නාට්‍යෝචිත බවකින් යුක්තය.  සිතුවමෙහි හිස් අවකාශය එහි ශ්‍රේෂ්ඨත්වය තිවුර කිරීමට සඳහා යොදාගෙන ඇත. වස්තූන් මධ්‍යගතව සංරචනය කිරීම් තුළින් අදාල තේමාව තීව්‍රර කිරීමට උත්සහ කරයි. සිතුවම මධ්‍යයේ සුදු පැහැති සළුවකින් සැරසී ඇඳක් මත හිඳ වම් අත ඉහලට ඔසවා සිටින පුද්ගලයා සොක්‍රටීස්ය. ඔහුගේ දකුණතින් වස සහිත බදුන ගැනීමට ඒ වෙත අත දිගුකර සිටියි. සිතුවමෙහි නාභිගත ස්ථානය තුළ වස බඳුන සංරචනය කර ඇත.   සොක්‍රටීස් හා වස බදුන සිතුවමේ මධ්‍යයට වන්නට සංරචනය කිරීම් තුළින් සිතුවමේ අදහස් වඩාත් තිවුර වී යයි. සොක්‍රටීස්ගේ දකුණු කකුල මත අත තබා සිටින්නේ ක්‍රීටෝ ය. ඔහු සොක්‍රටීස්ගේ තියුණු බැල්ම දෙස අවධානය යොමු කරමින් සිටියි. සොක්‍රටීස් සිටින ඇඳ පාමුල වාඩිවී ශෝකබරිත වූ කල්පනාවක නිමග්නව සිටින ආකාරයෙන් ප්ලූටෝ සංරචනය කර ඇත. ප්ලූටෝගේ ස්වරූපය වයෝවෘද්ධය. ශෝකය දරාගත නොහැකි ඇපලෝඩරස් ආරුක්කුවේ බිත්තිය මත හිස තබා වැලපෙති. සිතුවමෙහි පසුබිමට වන්නට සොක්‍රටීස්ගේ බිරිඳ සංරචනය කර ඇත. සොක්‍රටීස්ගේ වම්පස ශොකයෙන් වැලපෙන පිරිසකි. මෙහි නිරූපිත නිවී ඇති පහනෙන් හා දකුණු පස අඳුරු වූ ප්‍රදේශයෙන් අවකාශයන් හා ඒකාබද්ධ කර ඇත. එමෙන්ම නිවීගිය පහණෙහි දුමෙහි සෙවනැල්ලක් ද නොමැත. සමස්ත චිත්‍රය පුරා ඇති චරිත සියල්ලම පාහේ එකිනෙකට එකක් යාබදව ගලා යන ස්වභාවයක් පෙන්නුම් කරයි.  සොක්‍රටීස්ගේ මුහුණෙහි දක්නට ඇති තියුණු බැල්ම සිතුවමේ අනෙක් චරිත හා සම්බන්ධ නොවුණ ද එම බැල්මට පිටුපා ඉවත් බලා වැලපෙන චරිත ද මෙම බැල්මට අනුගත වන අයුරින් සංරචනය කර ඇත. සිතුවමේ දකුණු පසට වන්නට නිරූපණය කර ඇති ආරුක්කුව සිතුවමට ගැඹුරුක් එක් කිරීමට සමත් වී ඇත. සිතුවමෙහි දුරින්ම දක්වා සිටින පිරිස් එනම් සොක්‍රටීස්ගේ බිරිඳ ඇතුළු පිරිස මෙම සිතුවමෙහි වස්තු විෂය හා සම්බන්ධ වන සේ සංරචනය ඇත.            

              මෙහි සියලු චරිතයක් හෝ වස්තුවක් ම සිදුවීමෙන් එකිනෙකට වෙන් වීම්ට ඉඩ නොදී ඒවා  සියල්ල එකිනෙකට මනාව සම්බන්ධ වන අයුරින් චිත්‍රයේ මූලික තේමාවට චරිත ඒකාග්‍ර කොට ගෙන ඇත. මෙම සිතුවමෙහි චරිත නාට්‍යානුසාරයෙන් සංයෝජනය කර ඇත.ෂාක් ලුවී ඩේවිඩ් විසින් සොක්‍රටීස් ගේ මරණය සිතුවම කැන්වස් තලයක් මත තෙල් සායම් මාධ්‍යයෙන් අපූර්ව ලෙස වර්ණ ගන්වා ඇත. වර්ණය තුළින් සිතුවමෙහි කලාත්මක අගය වැඩි වී ඇත. ඩේවිඩ් භාවිත කළ පින්තාරු කිරීමේ ක්‍රමවේද, සමස්ත චිත්‍රය පුරා බරුසු පහර හැසිරවු ආකාරය, එහි භාවිත වර්ණාවලිය, වර්ණ තුළින් එළිය අඳුර දැක්වීමේ ක්‍රමවේද නිසා සිතුවමේ කලාත්මක අගය වැඩි වී ඇත. සිතුවම වර්ණ ගැන්වීමේදී තෙල් සායම් මාධ්‍ය යොදාගෙන ඇත. සිතුවම පුරා භාවිත කළ පින්සල් පහර ඉතාමත් සියුම්ය. මටසිලුටු ය. සමස්ත සිතුවම තලය පුරා පින්සල් පහර ඉතා සෙමින්  ගෙන ගොස් ඇත.  ඩේවිඩ්ගේ පින්සල් පහර තුළින් සියුම් නිමාවක් චිත්‍රයට ලැබී ඇත. 

ෂාක් ලුවි ඩේවිඩ් සිතුවමෙහි භාවිත කර ඇති දීප්තිමත් වර්ණ තුලින් මානව රූ තුළ ජීවී බව හුවා දැක්වීමට හැකි වී ඇත. සොක්‍රටීස්ගේ අත් පා වල ඇති ජීවි ස්වභාවය මුහුණුවල ඇති හැඟීම් ප්‍රකාශනයන් ඉතාමත් තීව්‍රර  අයුරින් දක්වා ඇත. උඩුකය නග්න සොක්‍රටීස්ගේ මාංශ පේශිවල වටකුරු ස්වභාවය පිරී ගිය ස්වභාවය ඉතාමත් මැනවින් දක්වා ඇත. සොක්‍රටීස්ගේ මුහුණ, බාහුවල මාංශ පේශි, කෙන්ඩා, පාද, නිය පපු පෙදෙසෙහි මස් පිඩුවල ඇති සජීවී බව එනම් ඒවා යේ රුධිරය පිරී ඇති බව අන්දම වර්ණ භාවිතය ඇසුරින් ප්‍රශස්ත ලෙස ගොඩනඟා තිබේ. ඉතා සියුම් ලෙස භාවිත කළ පින්සල් පහර හා වර්ණ තුලින් ද්විමාන තලයක සිතුවම් කර ඇති වස්තූන්ගේ ඇති වස්තුමය ස්වභාවය ත්‍රිමානව සිතුවම් කර ඇත. සොක්‍රටීස්ගේ මුහුණේ හැඟීම්  නිරූපණය කිරීමේදී වර්ණ තුලින් සුවිශාල වූ කාර්යභාරයක් කිරීමට ෂාක් ලුවි ඩේවිඩ්ට හැකිවී ඇත.



                                                                               Jacques Louis David , the Death of Socrates (Detail)

සොක්‍රටීස්ගේ මුහුණේ තියුණු බැල්ම, ගාම්භීර බව, ශ්‍රේෂ්ඨ බව මෙන්ම ඔහුගේ මරණය පිළිබද කණගාටු නොවන ස්වභාවය ඉතාමත් පැහැදිලිව වර්ණ තුළින් දක්වා ඇත. එමෙන් ම සෙසු චරිත වල දුක්බර ස්වභාවය වැළපෙන ස්වභාවය මනාව වර්ණය තුළින් ඉස්මතු කර ඇති අතර අවස්ථානුකූලව සොක්‍රටීස්ගේ මුහුණේ හැඟීම් නිරූපණයන් සහ සෙසු අයගේ වැලපෙන දුක් බරිත හැගීම් නිරූපනය වර්ණය තුළින් එකිනෙකට වෙන්කර උලුප්පා දැක්වීමට සමත් වී ඇත. සිතුවමේ එහි ගැඹුරු බව පෙන්වීමේදී අඳුරු වර්ණ මාලාවක් භාවිත කර ඇත. දුරින් සිටින සොක්‍රටීස්ගේ බිරිඳ ඇතුළු පිරිසගේ මුහුණේ  හැඟීම් පැහැදිලිව නොපෙනෙන සේ වර්ණ ගන්වා ඇත. ඒ තුළින් සිතුවමෙහි ගැඹුරු ඉස්මතුවී පෙනේ. එමෙන්ම පසුබිමෙහි දක්වා ඇති චරිත සදහා ද දීප්තියෙන් අඩු අඳුරු පැහැති වර්ණ මාලාවක් යොද ඇත.  

                     සොක්‍රටීස් වස පානය කිරීම සිතුවමෙහි රේඛාව ඉතාමත් සූක්ෂම ලෙස හසුරුවා ඇත. මානව රූ නිර්මාණය කිරීමේදි ඉතා සියුම් වූ රේඛාවන් භාවිතයට ගෙන ඇත. සියුම් රේඛා භාවිතයෙන් සිතුවමෙහි ජීවී බව ජනිත කිරීමට උත්සාහ කර ඇත. සොක්‍රටීස්ගේ බැල්මෙහි තියුණු බව අනෙක් චරිතවල වේදනාබරිත හැඟීම් රේඛාව තුළින් ඉසම් තු කර පෙන්වයි. වක්‍ර වු සියුම් රේඛා භාවිතයෙන් සොක්‍රටීස්ගේ බාහුවල මස්පිඩු පිරුණු ස්වභාවය පුෂ්ටිමත් බව හා ත්‍රිමාණ බව ඉස්මතු කර දක්වා ඇත. සොක්‍රටීස්ගේ වයස්ගත ස්වභාවය ප්ලූටෝගේ වයස්ගත ස්වභාවය හා අනෙකුත් චරිතයන්හි තරුණ බව සියුම් රේඛාකරණය තුලින් ඉස්මතු වේ. 

 සොක්‍රටීස් වස පානය කිරීම සිතුවම තුළ ලුවී ඩේවිඩ් විසින් පර්යාවලෝකනය ඉතාමත් විධිමත් ආකාරයෙන් භාවිත කර ඇත. ගෘහ අභ්‍යන්තර කොටසක සමස්ත සිතුවම සංරචනය කර ඇති අතර පර්යාවලෝකනය භාවිත කරමින් චිත්‍රයට ගැඹුරක් ලබා දී ඇත. සිතුවම වම්පසට වන්නට ඇති ආරුක්කුව තුළින් ද්විමාන තලයක සිතුවම් කර ඇති සිතුවමට ගැඹුරක් එක් කරයි. සිතුවමෙහි මානව රු වස්තූන්, හැඩතල, වර්ණ, රේඛා මගින් පර්යාවලෝකනය හඳුනාගත හැකිය. සිතුවමෙහි ඉදිරි බිමෙහි ඇති වස්තූන්වල ලක්ෂණයන් ඉතාමත් හොඳින් පැහැදිලිව මතුකර ඇත. ඉදිරියේ ඇති වස්තූන්ගේ වස්තුමය ස්වභාවය වර්ණ තුළින් ඉතාමත් හොඳින් මතුකර ඇත.  මුහුණුවල ඉරියව්, ශරීර ස්වභාවයන්, මාංශපේශිවල ස්වභාවයන් ඉතාමත් තියුණු අන්දමින් මතුකර පෙන්වයි. ඉදිරි බිම් වස්තූන්වල ත්‍රිමාණ ලක්ෂණ පැහැදිලිය. නමුත් සිතුවමෙහි දුරින්ම පිහිටි වස්තූන්ගේ වස්තුමය ස්වභාවයන් ඉදිරියේ ඇති වස්තූන්ට සාපේක්ෂව හොඳින් ඉස්මතු කර නොමැත. පිටුපස සොක්‍රටීස්ගේ බිරිඳගේ මුහුණේ හැඟීම් පැහැදිලිව හඳුනාගත නොහැක. ඉදිරි බිමෙහි දක්නට ඇති චරිත වඩා විශාලව දක්වා ඇති නමත් පසුපස වන්නට චරිත් සාපේක්ෂව කුඩාය. ඉදිරි බිම් සිටින චරිත සඳහා දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කළ ද පිටුපස සිටින පිරිස් සඳහා භාවිත වර්ණමාලාව අඳුරුය. එම අඳුරු වර්ණ මාලාව තුලින් ඔවුන්ගේ මුහුණෙහි පැහැදිලි ඉරියව් මෙන්ම ත්‍රිමාණ ලක්ෂණ හඳුනා ගැනීමට අපහසුය.


                                                                        Jacques Louis David , the Death of Socrates (Detail)

එමෙන්ම, රේඛා මගින් ද සිතුවමෙහි පර්යාව පර්යාවලෝකනය හඳුනාගත හැකිය. ඉදිරියෙහි ඇති වස්තූන් වල රේඛාව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉදිරි බිමෙහි ඇති බිත්තියේ ගඩොල්වල රේඛාව හොඳින් පෙනුනද පර්යාවලෝකනය සමග පසුබිමෙහි ගඩොල් හා බිත්තියේ දාරමය ස්වභාවය හඳුනා ගැනීමට තරමක් අපහසුය. එහිලා, ලුවී ඩේවිඩ් පර්යාවලෝකන රීතිය මෙම සිතුවම තුළට ඉතාමත් හොඳින් යොදාගත් බව පැහැදිලිය.  ඒ අනුව දෘශ්‍ය කලා මූලිකාංගයන් ඉතා විශිෂ්ට ලෙස භාවිත කර ඇති ආකාරය මෙකී සිතුවම අධ්‍යයනය කිරීම හරහා පෙනී යයි.


                                    



7 comments: