Pages

Tuesday, November 26, 2024

 ඇපල් වට්ටිය 

( Still life with Basket of apple)




    Paul Cezanne, The Basket of Apple, 1893, Oil on Canvas, 65 cm x  80 cm, Art Institute of Chicago.


ත්‍රිමාන ද්‍රව්‍යය සමතල කැන්වසයක් තුළ නිරූපණය කළ හැක්කේ කෙසේද ? චිත්‍ර කලාව තුළ මේ ප්‍රශ්නයට සම්ප්‍රදායික විසඳුමක් විය. එනම්, රේඛීය පර්යාලෝකය (linear per- spective) යි. එනමුත් පර්යාලෝක න්‍යාය අනුගමනය කළ හැක්කේ නිශ්චල නරඹන්නෙකු හා නිශ්චල ඇසත් පිළිබඳ පැහැදිලි විශ්වාසයක් ඇති සිත්තරෙකුට පමණි. නරඹන්නා නිශ්චල නොවේ නම්, ලෝකය පිළිබඳ අචල දෘෂ්ටියක් හේතුයුක්ත කරන්නා වූ දේවවාදී මෙන්ම ලෞකික අධිකාරි ව්‍යුහයන් ද දුර්වල වෙමින් පවතින්නේ නම් සිත්තරා විසින් අවකාශ ගත වස්තූන් නිරූපණය කරනු ලබන්නේ කෙසේ ද?

ද්‍රව්‍යයට හා අවකාශයට අදාල කලොත්මක ඥානය සම්බන්ධ - යෙන් මතු වූ එම ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා චිත්‍ර කලාව උඩුයටිකුරු කළ යුතු විය. ද්‍රව්‍යය හා අවකාශය පිළිබඳ අනුකරණාත්මක ඡායාරූපයක් නිර්මාණය කිරීමට ඇපකැප වී සිටි චිත්‍ර කලාවට ඉන් එල්ල කෙරුණේ බරපතල අභියෝගයකි. ඒ සඳහා ආගමික හා පුරාණෝක්තිමය නිරූපණ මෙන් ම මනෝ විද්‍යාත්මක හා ආඛ්‍යානමය නිරූපණ ද පිටුදැකිය යුතු විය. එවැනි අරමුණු පෙරදැරි කර ගැනීම යටකී සාරගවේෂණයට බාධාවක් වන බව කිව යුතු නොවේ. කතන්දර කියන චිත්‍ර, හැඩරුව තරාතිරම ගැන කියන චිත්‍ර, ආගම හා දෙවියන් ගැන කියන චිත්‍ර, මනෝභාව හා මනෝගති පළ කරන චිත්‍ර යනාදි සම්ප්‍රදායික ප්‍රභේද හෙවත් ශානර පිටුදැකිය යුතු විය.

සෙසාන්ගේ ආකෘතිකවාදී නැඹුරුව ද්‍රව්‍යවාදය සමඟ සමපාත වු න්‍යායික නැඹුරුවක් බව අවධාරණය කළ මනාය. චිත්‍ර කලාවේ දී සොබාදහම සමඟ සම්බන්ධ වී වර්ධනය කර ගත්තා වූත්, භාවිතයෙහි යෙදන්නාවුත් සියල්ල න්‍යාය වන්නේ යැයි සෙසාන් පැවසීය. සෙසාන්ගේ අවධානයට යොමු වූයේ සොබා දහමේ ස්වරූපය හා චිත්‍රයක මතුපිට සමතල ස්වභාවය (flatness of a painting) පිළිබඳ දාර්ශනික සත්‍යය අතර සුසංයෝජනය වන බව කලා දාර්ශනිකයෝ පෙන්වා දෙති.

සෙසාන්ගේ විශ්වාසය වූයේ චිත්‍ර කලාවෙන් සිදු කරන්නේ ප්‍රතිනිර්මාණයක් ceproduction) නොව නිරූපණයක් (representa- tion) බව යි. සොබා දහමේ හා සංස්කෘතියේ වස්තු සමතල කැන් වසයක් තුළ නිරූපණය කිරීමේ දාර්ශනික හා කලාත්මක ගැටලුවට ඔහු මුහුණ දුනි. සෙසාන් කල්පනා කළ පරිදි චිත්‍ර කලාව ද සොබා දහමට හා ද්‍රව්‍යමය සංස්කෘතියට සමාන්තර ලෙස දිවෙන ස්වාධීන ක්ෂේත්‍රයකි. ස්වකීය නීතිරීති අනුව නිරූපණාත්මක කර්තව්‍යයෙහි යෙදෙන චිත්‍ර කලාව වර්ණය මූලික කර ගනිමින් හැඩතල හා ආකෘති නිර්මාණය කරයි. සෙසාන්ට අනුව රේඛාව හෝ ආලෝකය හා අඳුර (light and shade) හෝ කියා දෙයක් චිත්‍ර කලාවේ නැත. රේඛාව යනු වර්ණ හෝ වර්ණ තාන අතර වෙනස යි ආකෘති හා හැඩතල සමඟ වර්ණය ඉදිරියට යද්දී චිත්‍රය සම්පුර්ණ වේ. එම ගමනේ ගමනාන්තයම මිස වෙන අරමුණක් චිත්‍ර කලාවට තිබිය නොහැකි ය. කථාන්දර කීමේ චිත්‍ර කලාව නරක සාහිත්‍යය (bad litent- ture) ලෙස හැඳින් වූ ඔහුට සිය චිත්‍ර මඟින් කථාකරුවෙකු වීමට හෝ මනෝ විද්‍යාඥයකු වීමට හෝ වුවමනා වූයේ නැත.

විශේෂ උගතෙකු හෝ විධිමත් ගුරුකුල අධ්‍යාපනය ලද්දෙකු හෝ නොවූ හෙතෙම සෙමින් නමුත් තිරසර අදිටනින් යුතුව සමතල කැන් වසයක් මත ද්‍රව්‍ය නිරූපණය පිළිබඳ ගැටලු සමඟ අරගල කළේය. ඔහු කලා ශිෂ්‍යයකු ලෙස ප්‍රංශ කලා පාසැලට ප්‍රවිෂ්ට වීම සඳහා දරන ලද ප්‍රයත්නය පවා අසාර්ථක විය. චිත්‍ර කලා ඉතිහාසය තුළ ඔහු තරම් හුදකලා වූ චිත්‍ර ශිල්පියෙකු තවත් නැත. ඒ නමුත් එක් අතකින් ඔහු වාසනාවන්තයෙකි. ඊට හේතුව වෙන්නේ බොහිමියානු කලාකරුවන්ගේ මට්ටමින් ඔහු ධනවතෙකු වීම යි. කලාකරුවකු ලෙස ඔහු සිය ධනවත් පියාගෙන් ලැබුණු දීමනාවක් නිසා අසාමාන්‍ය වාසනාවකට උරුමකම් කියූ බවත්, එක සිතින් හා දැඩි පරිශ්‍රමයකින් චිත්‍ර ධාරකය ඉදිරිපිට දිගින් දිගටම වැඩ කිරීම සඳහා ජීවිතය කැප කිරීමට අවස්ථාව ලැබුණු බවත් ඒඩ්‍රියන් ෆෝක් සඳහන් කරයි.

ස්කන්ධමය වස්තු ලෙස ද්‍රව්‍යය නිරූපණය කිරීමෙහි ලා සෙසාන් තුළ පැවතුණ හැකියාව ඇපල් වට්ටිය සහිත නිසල රූ නමැති චිත්‍රය මඟින් කදිමට පෙන්නුම් කෙරේ. තවද, මේ චිත්‍රය තුළ ඇති වස්තු සම්භාරයට සිත්තරා විසින් කිසියම් දෘෂ්ටිමය වටිනාකමක් ද ලබා දී ඇති බව පෙනේ. ඒ වස්තු සියල්ල ලෝකය තුළ පවතිනවාට අමතරව මිනිස් ඇසක් ඉදිරියේ විද්‍යමාන වන බව ද පෙන්නුම් කර තිබේ. මේ බඩු මේසය හුදෙක් ඒ අයුරින් සැබෑ ලෝකය තුළ පවතින්නක් පමණක් නොව අප විසින් අපේ ඇසින් දකිනු ලබන්නකි. මින් පවසනු ලබන තවත් අතුරු කථාවක් ඇත. එනම්, මේ චිත්‍රය තුළම නරඹන්නෙකුගේ භූමිකාව ද ඇතුළත් බවයි. ඒ අතින් මානුෂික පැවැත්මක් හෙවත් සාංදෘෂ්ටික  භාවයක් (exsitential standpoint) පිළිබඳ නිවේදනයක් ද මේ චිත්‍රයේ සංරචනයෙහි ඇතුළත් ය. එය ප්‍රචාරාත්මක නිවේදනයක් නොව කලා කෘතියේ රසභාව තුළ ම පවත්නා නිවේදනාත්මක මනෝභාවයක් බව කිව යුතුය. මුළු මහත් මේසයෙහි ඇත්තේ ජල ප්‍රවාහයක් මෙන් නරඹන්නා වෙත ගලා එන ස්වරූපයකි. එය නාය යන පොළොවකට සමාන බව ද පැවසිය හැකිය. වයින් බෝතලයේ දෙපැත්ත සමබර නැත.


                  Paul Cezanne, The Basket of Apple (Detail), 1893, Oil on Canvas, 65 cm x  80 cm, Art Institute of Chicago.

එහි නිරූපණය වී ඇත්තේ දෙපැත්තකින් හෙවත් දෘෂ්ටි කෝණ දෙකකින් දකිනු ලැබූ අයුරකි. පිඟානෙහි තබා ඇති ඥානකතා වැනි පිටි අවුළු රැස ද, කොයිල් ස්ප්‍රිනයක් මෙන් උඩට පැතිරි ඇත. මින් පෙනෙන්නේ ඒ සියල්ල නිරීක්ෂණ ප්‍රතිඵල මෙන් සටහන් කර ඇති බවයි. සෙසාන්ගේ චිත්‍රවල දක්නට ලැබෙන දෘෂ්ටිමය දෝෂ වලට (visual inaccuracies) හේතුව ද මෙය යි. ඒවා සිතුවම් කර ඇත්තේ චිත්‍ර ශිල්පියාගේ වෙනස් වන දෘෂ්ටි කෝණයකිනි(moving view points). ද්‍රව්‍ය හා සිත්තරා අතර අචල හා ඒකීය ද්‍රව්‍ය - දෘෂ්ටි සබඳතාවක් වෙනුවට බහුත්ව ද්‍රව්‍ය - දෘෂ්ටි සබඳතාවක් පැවතුණු බව එමඟින් පෙන්නුම් කෙරේ.




 

No comments:

Post a Comment